රුපියල් පන්සියයක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක ලබන මාර්තු මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ මරදමුනේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවය. පැමිණිලිකරු සිය දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කරවා ගැනීමට ගිය අවස්ථාවේදී, සැකකාරිය ඒ සඳහා රුපියල් 1,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළි විය.
අදාළ මුදලින් රුපියල් 500ක් මුලින් ලබාගෙන ඇති සැකකාරිය, ඉතිරි රුපියල් 500ක මුදල පසුගිය පෙබරවාරි 16 වැනිදා උප්පැන්න සහතිකය ලබා ගැනීමට පැමිණෙන විට රැගෙන එන ලෙස දන්වා තිබුණි. ඒ අනුව, එදින ඇයගේ නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලයේදී ඉතිරි රුපියල් 500ක මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරිය ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
















