අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී දැනට භාවිත කරන නිර්නායකයන්හි පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද (18) ප්‍රකාශ කළේය.
දැනට පවතින තෝරා ගැනීමේ ක්‍රමවේදය තුළ සැබෑ ලෙසම සහනාධාර අවශ්‍ය පිරිස් මඟහැරී ඇති බවටත්, ප්‍රතිලාභ ලැබීමට නුසුදුසු පිරිස් ඇතුළත් වී ඇති බවටත් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම විද්වත් කමිටුව පත් කර ඇත. කමිටුව විසින් නිර්නායක සංශෝධනය කළ පසු ඒවා යළි ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
නව නිර්නායක ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ඒ මත පදනම්ව සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව යළිත් වරක් තෝරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. එමඟින් වඩාත් විනිවිදභාවයකින් යුත් සහ යුක්තිසහගත සුබසාධන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම රජයේ අරමුණයි.
පසුගිය කාලසීමාව පුරා අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුව සම්බන්ධයෙන් මහජනතාව තුළ පැවති දැඩි විරෝධතාවන්ට පිළියම් සෙවීම සහ වඩාත් සුදුසු පුද්ගලයන් වෙත රජයේ සහන ලබා දීම මෙම සංශෝධනයේ මූලික ඉලක්කය වී තිබේ.














