ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ පැවති අයවැය විවාදයකදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) මන්ත්‍රී බහදූර් සිං කෝලි (Bahadur Singh Koli) මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය දේශපාලන කරළිය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඔහු සිය පක්ෂයේ අයවැය “පිරිමි දරුවකුගේ උපතකට” සහ කොංග්‍රස් පක්ෂයේ අයවැය “ගැහැණු දරුවකුගේ උපතකට” සමාන කිරීම මෙයට හේතුවයි.
සඳුදා සවස පැවති විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තරුණ වියේදී පිරිමි දරුවෙකු බිහි කිරීම සැමවිටම ප්‍රයෝජනවත් බවත්, තම රජය පළමු, දෙවන සහ තුන්වන අයවැය හරහා පිරිමි දරුවන් බිහි කර ඇති බවත්ය. හිටපු මහ ඇමති අශෝක් ගෙලොට්ගේ රජය අවසන් අයවැයේදී ගැහැණු දරුවෙකු බිහි කළ නිසා ඔවුන්ට දැන් විපක්ෂයේ අසුන් ගැනීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් උපහාසයෙන් යුතුව පැවසීය.
විපක්ෂ නායක ටිකා රාම් ජුලී (Tika Ram Jully) මෙම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දුටුවේය. මෙය ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කොට සැලකීමක් බවත්, ගැහැණු දරුවන් පහත් කොට සැලකීම ලැජ්ජා සහගත බවත් ඔහු පැවසීය. තමන්ට ද දියණියන් දෙදෙනෙකු සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, වර්තමාන යුගයේ පවා මෙවැනි පටු ආකල්ප දරන මන්ත්‍රීවරුන් ගැන තමන් කණගාටු වන බව සඳහන් කළේය.
තම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ද මන්ත්‍රී කෝලි සිය ස්ථාවරය ආරක්ෂා කිරීමට උත්සාහ කළේය. මෙය සිය ප්‍රාදේශීය භාෂා රටාව (Brijbhasha) බවත්, හොඳ අයවැයක් යනු පිරිමි දරුවෙකු ලැබීම වැනි යැයි පැවසීමේ වරදක් නොදකින බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශය හරහා ඉන්දීය රජය ප්‍රවර්ධනය කරන “ගැහැණු දරුවා සුරකින්න, ගැහැණු දරුවාට උගන්වන්න” (Beti Bachao, Beti Padhao) වැනි ජාතික ප්‍රතිපත්ති පවා උල්ලංඝනය වන බවට විචාරකයෝ චෝදනා කරති.














