ඉන්දියාවේ මිසෝරාම් (Mizoram) ප්‍රාන්ත රජය විසින් කොලසිබ් (Kolasib) දිස්ත්‍රික්කයේ පිහිටි ‘ජෝර්දාන් මධ්‍යස්ථානය’ (Jordan Centre) නමැති මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ප්‍රෙස්බිටේරියන් පල්ලිය (Presbyterian Church) වෙත පවරා දීමට තීරණය කර ඇත.
මෙම තීරණය සම්බන්ධයෙන් මිසෝරාම් සමාජ සුභසාධන අමාත්‍ය ලැල්රින්පුයි (Lalrinpuii) මහත්මිය අද (18) එරට ව්‍යවස්ථාදායක සභාවේදී කරුණු පැහැදිලි කළාය. එම කරුණු මෙසේය:
මෙම මධ්‍යස්ථානය පවරා දීම සඳහා වන නිල ගිවිසුම දැනටමත් අත්සන් කර ඇති අතර, පල්ලියේ ඉහළම විධායක මණ්ඩලය වන සිනොඩ් (Synod) ආයතනය මේ සඳහා සිය අයවැයෙන් ඉන්දීය රුපියල් කෝටි 2ක ප්‍රතිපාදන වෙන් කර ඇත. රජය මේ වන විට මුදල් අමාත්‍යාංශයේ අවසන් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටී.
ප්‍රාන්තය තුළ පවතින මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම සඳහා රජය සිය උත්සාහයන් තීව්‍ර කරමින් සිටින බව අමාත්‍යවරිය සඳහන් කළාය. මෙයට සමගාමීව අයිසෝල් (Aizawl) නගරය අසල ලුන්ග්ලෙන් (Lunglen) ප්‍රදේශයේ දැවැන්ත පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇති අතර, එහි කළමනාකරණ කටයුතු ප්‍රකට දේශක ෆෙඩ්රික් (Fedrick) ඇතුළු කණ්ඩායම වෙත පැවරීමට නියමිතය.
මිසෝරාම් ප්‍රාන්තය පුරා මේ වන විට මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවත්, නව ව්‍යාපෘති හරහා පුනරුත්ථාපනය වන පුද්ගලයන්ට වෘත්තීය පුහුණුව ලබා දී ඔවුන් නැවත සමාජගත කිරීමට බලාපොරොත්තු වන බවත් රජය පවසයි.














