ශ්‍රී ලංකාවේ අසිරිමත් සංචාරක ගමනාන්ත සහ අද්විතීය ආහාර සංස්කෘතිය ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය කරමින්, ලොව සුප්‍රකට නැෂනල් ජියෝග්‍රැෆික් (National Geographic) නාලිකාව හරහා විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවක් විකාශය වීමට නියමිතය. “ජයෆ්ලාවා: සෙලිබ්‍රේටින් ශ්‍රී ලංකා” (Jayaflava: Celebrating Sri Lanka) ලෙස නම් කර ඇති මෙම කොටස් හයකින් යුත් වැඩසටහන් මාලාව එළඹෙන පෙබරවාරි 20 වන සිකුරාදා රාත්‍රී 8.00 ට දකුණු ආසියානු කලාපය පුරා මංගල දර්ශනය ලෙස විකාශනය වේ.
මෙම සුවිශේෂී කතා මාලාව මෙහෙයවනු ලබන්නේ ප්‍රකට ශ්‍රී ලාංකික කතුවරියක සහ ආහාර කතන්දරකාරිනියක වන ටාෂා මරික්කාර් විසිනි. ඇය විසින් රචිත “ජයෆ්ලාවා” (Jayaflava) ඉවුම් පිහුම් පොත ආභාෂය කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වැඩසටහන හුදෙක් ආහාර පිසීමේ සංදර්ශනයකට වඩා එහා ගිය, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන්ගේ ජීවන රටාව සහ සංස්කෘතික අනන්‍යතාවය සිනමාත්මකව ගවේෂණය කරන්නකි.
අෆ්දෙල් අසීස්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම වැඩසටහන හරහා කොළඹ කොත්තු, යාපනයේ කකුළු කරිය, දකුණු වෙරළ තීරයේ ආප්ප මෙන්ම පුත්තලමේ පොල් සහ ගාල්ලේ ලම්ප්රයිස් වැනි දේශීය අනන්‍යතාවයන් සහිත ආහාර රැසක කතන්දර ලෝකයට හෙළි කරනු ඇත. පැය භාගයකින් යුත් කථාංග හය පුරා ශ්‍රී ලංකාව ඉදිරිපත් කරනු ලබන්නේ විවිධත්වය සහ නවීනත්වය පිරි ජීවමාන දේශයක් ලෙසය.
මෙම වැඩසටහන ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ මාලදිවයින ඇතුළු රටවල් රැසක විකාශනය වීම හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ජාත්‍යන්තර ප්‍රචාරණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සැබෑ ශ්‍රී ලාංකික රහ සහ උරුමය සොයා යන මෙම චාරිකාව සෑම ඉරිදාවකම පස්වරු 1.00 ට නැවත විකාශනය වීමට ද නියමිතය.















