වර්තමානයේ බුදුදහමට එල්ල වී ඇති තර්ජන පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති මහා සංඝ සමුළුව ලබන 20 වැනිදා පස්වරු 2.00 ට කොළඹ බුලර්ස් පාරේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය 2,500 නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ඉත්තැපාන ධම්මාලංකාර මහනාහිමියන්, නිකපොත චන්ද්‍රජෝතී මහනාහිමියන් සහ වෙඩරුවේ උපාලි අනුනාහිමියන් ඇතුළු නිකායත්‍රයේම නායක හිමිවරුන් රැසක් සහභාගිත්වය තහවුරු කර ඇත. විශේෂත්වය වන්නේ මෙම ආගමික කටයුත්ත සඳහා කිසිදු දේශපාලනඥයෙකුට නිල වශයෙන් ආරාධනා කර නොතිබීමයි.
සමුළුවේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. එසේ වුවද උන්වහන්සේ රෝහලේ සිටම සමුළුවේ සංවිධාන කටයුතු මෙහෙයවන බව වාර්තා වේ.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමි ඇතුළු උගත් භික්ෂූන් වහන්සේලා රැසකගෙන් සැදුම්ලත් සංවිධායක මණ්ඩලයක් විසින් සමුළුවේ ඉදිරි කටයුතු සම්පාදනය කරනු ලබයි.














