කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සැලුනයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ සිද්ධියේදී රාජකාරිය පැහැර හැරි බවට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි 14 වැනිදා රාත්‍රියේ ආදුරුප්පුවීදිය පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි මෙම නිලධාරීන් දෙදෙනා, වෙඩික්කරුවන් යතුරුපැදියෙන් පලායන අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ නොකර පොලිස් ජීප් රථයේ දොරට මුවා වී සැඟවෙන අයුරු සීසීටීවී (CCTV) කැමරාවල සටහන්ව තිබුණි.
රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත මෝදර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත. ගිනි අවි අතැතිව සිටියදීත් අපරාධකරුවන් වැළැක්වීමට කටයුතු නොකළේ ඔවුන් සමඟ පවතින සබඳතාවයක් මතද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් 20 හැවිරිදි තරුණයෙකු මියගිය අතර, තුවාල ලැබූ තිදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. පොලිසිය සැක කරන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පුකුඩුකන්නා’ නැමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.














