අඹතලේ සිට දෙහිවල දක්වා දිවෙන ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට දැඩි බාධා එල්ල වී තිබේ. අද පෙරවරුවේ සිට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන අතර, ජනතාව මුහුණ දෙන අපහසුතා අවම කිරීම සඳහා බවුසර් මගින් ජලය බෙදා හැරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන ඇත.
ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දැනටමත් කළුබෝවිල ශික්ෂණ රෝහල සහ මුල්ලේරියාව රෝහල වෙත බවුසර් මගින් ජලය ලබා දීමට කටයුතු කර ඇති බවයි. මීට අමතරව, ජනතාවගේ ඉල්ලීම් සහ අවශ්‍යතා අනුව අනෙකුත් පොදු ස්ථාන වෙත ද බවුසර් මගින් පානීය ජලය සැපයීමට මණ්ඩලය සූදානමින් සිටී.
මෙම හදිසි නඩත්තු කටයුත්ත හේතුවෙන් අත්හිටුවා ඇති ජල සැපයුම හෙට (19) පෙරවරු 6.00 ට පෙර යථා තත්ත්වයට පත් කිරීම ජල සම්පාදන මණ්ඩලයේ ඉලක්කය වී තිබේ. එතෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, හදිසි ජල අවශ්‍යතා පවතින්නේ නම් ජල සම්පාදන මණ්ඩලයේ 1939 ක්ෂණික ඇමතුම් අංකය හරහා දැනුම් දෙන ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.














