කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් සැබෑ ලෝකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව තවමත් නිසි අවබෝධයක් නොමැති බවත්, ඒ පිළිබඳව ලෝකය වඩාත් විමසිලිමත් විය යුතු බවත් අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය පවසන්නීය. මුම්බායි දේශගුණික සතියේ දෙවන දිනයට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
හිලරි ක්ලින්ටන් මහත්මිය මෙහිදී අවධාරණය කළ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. ChatGPT හෝ Gemini වැනි මෙවලම් හරහා සිදුවන එදිනෙදා සංවාදවලට එහා ගිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් AI මඟින් අත්කර ගෙන තිබුණ ද, එහි ඇති විය හැකි අවදානම නොසලකා හැරීම අනුවණකමක් බව ඇය පෙන්වා දුන්නාය. AI තාක්ෂණය නිර්මාණය කරන පුද්ගලයන් පවා එයින් අනාගතයේදී සිදුවිය හැකි බලපෑම ගැන නිශ්චිතව නොදන්නා බැවින්, රජයන් මැදිහත් වී මෙහි පාලනයක් ඇති කළ යුතු බව ඇය අවධාරණය කළාය.
AI දත්ත පද්ධති (Servers) පවත්වාගෙන යාම සඳහා විශාල බලශක්තියක් සහ ජල ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින්, එමඟින් දේශගුණික විපර්යාසවලට එල්ල වන බලපෑම සහ ශ්‍රම වෙළෙඳපොළේ රැකියා අහිමි වීම් පිළිබඳව ද ඇය මෙහිදී ප්‍රශ්න කළාය. ලොව අතිශය බලවත් සහ ධනවත් සමාගම් විසින් මෙහෙයවනු ලබන මෙම තාක්ෂණය, රටක දේශපාලනය සහ අනාගතය හැඩගැස්වීමට උත්සාහ කරන බැවින් තේරී පත් වූ රජයන් ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.














