මිනිස් මොළයට සමාන මට්ටමේ නිර්මාණශීලී සහ සැලසුම් සහගත හැකියාවන් සහිත කෘත්‍රිම පොදු බුද්ධිය (Artificial General Intelligence – AGI) තවත් වසර පහත් අටත් අතර කාලයකදී බිහිවනු ඇති බව Google DeepMind සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නොබෙල් ත්‍යාගලාභී ඩෙමිස් හසබිස් මහතා පවසයි. අද (18) නවදිල්ලියේ පැවැත්වෙන India AI Impact Summit 2026 සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ඩෙමිස් හසබිස් මහතා පෙන්වා දෙන්නේ වර්තමාන AI පද්ධති ඉතා දියුණු මට්ටමක පැවතියද, ඒවායේ තවමත් සැලකිය යුතු අඩුපාඩු පවතින බවයි. ඔහු වර්තමාන AI තාක්ෂණය “Jagged Intelligence” හෙවත් අසමාන බුද්ධියක් ලෙස හඳුන්වයි. උදාහරණයක් ලෙස, ඇතැම් පද්ධතිවලට ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගවල රන් පදක්කම් දිනාගත හැකි වුවද, ප්‍රශ්නය අසන ආකාරය අනුව ඉතා සරල ගණිත ගැටලුවලදී වැරදි සිදු කිරීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි. සැබෑ AGI පද්ධතියක මෙවැනි අස්ථායී ස්වභාවයක් නොතිබිය යුතු බව ඔහුගේ අදහසයි.
මීට අමතරව වර්තමාන AI මාදිලිවල පවතින ප්‍රධාන දුර්වලතා කිහිපයක් ද ඔහු මෙහිදී අනාවරණය කළේය. වත්මන් පද්ධති පුහුණු කිරීමෙන් පසු එම දැනුම තුළ “ගල් ගැසී” පවතින අතර, මිනිසුන් මෙන් අත්දැකීම් ඇසුරින් නිරන්තරයෙන් අලුත් දේ ඉගෙන ගැනීමට (Continual Learning) ඒවාට තවමත් නොහැකිය. එසේම වත්මන් AI පද්ධතිවලට කෙටි කාලීන කාර්යයන් සැලසුම් කළ හැකි වුවද, මිනිසුන් වසර ගණනාවක් පුරා සිදු කරන සංකීර්ණ සහ ඒකාබද්ධ සැලසුම්කරණය (Long-term Planning) සඳහා ඒවාට හැකියාවක් නැත. කෙසේ වෙතත්, ඉදිරි දශකය විද්‍යාත්මක සොයාගැනීම්වල නව ස්වර්ණමය යුගයක් වනු ඇති බවත්, විශේෂයෙන්ම AlphaFold වැනි මෙවලම් හරහා විද්‍යාත්මක පර්යේෂණ සහ මානව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඉදිරියට තැබීමට හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.














