චීනයේ හුබෙයි පළාතේ ෂියැන්ග්යැන්ග් (Xiangyang) නගරයේ ගිනිකෙළි අලෙවිසලක සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අද (18) වාර්තා වේ. චීන රජයේ පුවත් ඒජන්සියක් වන ෂින්හුවා (Xinhua) වාර්තාවලට අනුව, මෙම පිපිරීම හුබෙයි පළාතේ ෂෙන්ජි (Zhengji) නගරයේදී ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 2.00 ට පමණ සිදුව ඇත. පිපිරීමේ බලපෑම වර්ග මීටර් 50ක පමණ අරයකට ව්‍යාප්ත වී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් පස්වරු 3.30 වන විට ගින්න මැඩපැවැත්වීමට සමත්ව තිබේ.
චීන චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම් පැවැත්වෙන මෙම වකවානුව තුළ මෙවැනිම තවත් අනතුරක් පසුගිය ඉරිදා දින ජියැන්ග්සු (Jiangsu) පළාතේදී වාර්තා වූ අතර, එහිදී පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. දින කිහිපයක් ඇතුළත ගිනිකෙළි ආශ්‍රිතව සිදුවූ දෙවන දරුණු අනතුර මෙය වන අතර, අද දින සිදු වූ පිපිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වනු ලබන අතර, අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි භාවිතය සම්බන්ධයෙන් වන ආරක්ෂක විධිවිධාන පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.














