කොළඹ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් ජන බලය සාමූහිකයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ කැපී පෙනෙන ඉහළ ප්‍රසාදයක් පවතින බවයි. එම දත්තවලට අනුව ජනාධිපතිවරයා කෙරෙහි පවතින පුද්ගලික ප්‍රසාදය 78.73%ක් වැනි ඉහළ අගයක් ගන්නා අතර ආණ්ඩුව කෙරෙහි පවතින්නේ 45.75%ක ප්‍රසාදයකි. විපක්ෂය කෙරෙහි ජනතා ප්‍රසාදය 23.6%ක් දක්වා පහත වැටී ඇති බව ද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
පළාත් මට්ටමින් ජනාධිපතිවරයාට පවතින ප්‍රසාදය විශ්ලේෂණය කිරීමේදී වයඹ පළාතේ එය 97%ක් තරම් ඉහළ අගයක් ගන්නා බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. මීට අමතරව නැගෙනහිර පළාතේ 89%ක් සහ උතුරු පළාතේ 86%ක ප්‍රසාදයක් ජනාධිපතිවරයාට හිමිව ඇත. විපක්ෂය කෙරෙහි පවතින ජනතා ආකර්ෂණය ඉතා අවම මට්ටමක පවතින බව පෙන්වා දෙන මෙම වාර්තාවට අනුව උතුරු පළාතේ විපක්ෂයට පවතින්නේ 12.3%ක ප්‍රසාදයක් පමණි. ආණ්ඩුවේ පොදු ක්‍රියාකාරිත්වයට වඩා ජනාධිපතිවරයාගේ පෞරුෂය සහ තීන්දු තීරණ කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තබා ඇති බව දේවසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














