බළපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් පසුගිය 17 වන දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මෙලෙස මරණ දඬුවම නියම වූයේ මීටියාගොඩ පොලිස් වසමට අයත් මැටිවල ප්‍රදේශයේ පදිංචි ඉලංදාරි දේව අසංක හෙවත් ‘ජෝන් කොල්ලා’ සහ නානායක්කාරවසම් වලකඩ ගමගේ ඉන්ද්‍රසිරි ජිනපාල යන පුද්ගලයන් දෙදෙනාටයි.
සිද්ධියට අදාළ පසුබිම මෙසේය. 2014 දෙසැම්බර් මස 24 වන දින හෝ ඊට ආසන්න දිනකදී මැටිවල හංගරවත්ත පදිංචිව සිටි අප්පකුට්ටි අසෝක ප්‍රදීප් කුමාර නැමැති අයට තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.
පිටු 46කින් සමන්විත මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ විත්තිකරුවන් වරදකරුවන් බවයි. රජයේ නීතිඥ සෙනුරි ගුණතිලක මහත්මිය මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය. වසර 12ක් වැනි දීර්ඝ කාලයක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ප්‍රදේශයේ වැසියන්ගේ ද දැඩි අවධානයට ලක් විය.













