ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස බියක් ඇති කිරීම දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක් පමණක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි. ඇතැම් කණ්ඩායම් ජාතිභේද ඇවිස්සීමට සහ කලබල ඇති කිරීමට උත්සාහ කළ ද, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත් ත්‍රිවිධ හමුදාව සිය රාජකාරි නිසි ලෙස ඉටු කරන බවත් අද (19) පැවති ප්‍රකාශයකදී ඔහු සඳහන් කළේය. එක් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු සිදු කරන ක්‍රියාවන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හුවා දැක්වීම වැරදි සහගත බව ඔහුගේ අදහසයි.
මෑතකදී වාර්තා වූ ඝාතන සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒවා දේශපාලන අපරාධ නොව පාතාල ක්‍රියාකාරකම් බවයි. මෙම පාතාලය වර්ධනය වූයේ පසුගිය පාලන සමයන්හි ලැබුණු රැකවරණය මත බවට චෝදනා කළ ෆොන්සේකා මහතා, වත්මන් රජයට එවැනි පාතාල සබඳතා ඇති බව තමා විශ්වාස නොකරන බව ද පැවසීය. කෙසේ වෙතත්, රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් රජයක් ලෙස දැඩි පියවර ගත යුතු බවත්, පවතින තත්ත්වය පිළිබඳව සතුටු විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.















