අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ලෝක කුසලාන ක්‍රිකට් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා නිවේදනය කළේය. ප්‍රේක්ෂකයින් සඳහා ක්‍රීඩාංගණයේ දොරටු දහවල් 12:00ට විවෘත කෙරෙන අතර, තදබදය අවම කර ගැනීම සඳහා වේලාසනින් පැමිණෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
දහවල් 12:00 සිට සංඝරාජ මාවත, සුමනදිසි මාවත, වින්සන් පෙරේරා මාවත, බ්‍රිටෝ බාබා පුල්ලේ ප්‍රදේශය, පන්සල පාර, ඛෙත්තාරාම පාර, සෙබස්තියන් ඇල පාර සහ අඩි සියේ මාර්ගය යන ප්‍රදේශවල රථවාහන නවතා තැබීම සම්පූර්ණයෙන් තහනම් වේ. එමෙන්ම ශ්‍රී බෝධිරාජ මාවත, මාලිගාවත්ත පටුමග, ජුම්මා මස්ජිද් පාර, ප්‍රදීපා මාවත සහ සද්ධර්ම මාවත යන මාර්ගවලද රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
ප්‍රේක්ෂක වාහන සඳහා රථගාල් හයක් වෙන් කර ඇති අතර VIP සහ මාධ්‍ය සඳහා ක්‍රීඩා භූමිය රථගාල වෙන් කර තිබේ. සෙසු සැහැල්ලු වාහන, ත්‍රීවීල් සහ යතුරුපැදි සඳහා සතොස සහ දුම්රිය අංගනය (වාහන 500), සෙබස්තියන් ඇල පාර (වාහන 80), ඇපල් වත්ත (වාහන 150), කෝවිල පාර (වාහන 200) සහ අඩි සියේ මාර්ගය දෙපස (වාහන 150) භාවිතා කළ හැකිය. යම් තොරතුරක් විමසීමට අවශ්‍ය නම් 0112 433 333 යන දුරකථන අංකය ඇමතීමට හෝ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගෙන් සහාය ලබාගත හැකිය.















