මුන්දලම මංගලඑළිය ගම්මානයේ පිහිටි පෞද්ගලික ඉඩමක වැලි කැණීමට දරන උත්සාහයකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් අද (19) විරෝධතාවක නිරත විය. මංගලඑළිය ග්‍රාම නිලධාරී වසමට අයත් නුග සෙවන ගම, සමිඳුගම සහ අක්කර භාගය යන ගම්මානවල පදිංචි සියයකට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
විරෝධතාවයට හේතු වූ කරුණු සහ වත්මන් තත්ත්වය මෙසේය. සාරවත් පොල් වගාවකින් යුත් අක්කර 16ක ඉඩමක් බදු පදනමට ලබාගත් අයෙකු එහි වැලි කැණීම සඳහා අවසර ඉල්ලා තිබේ. මීට පෙර ප්‍රදේශයේ සිදු කළ වැලි කැණීම්වලින් පසු එම ස්ථාන නිසි ලෙස පුනරුත්ථාපනය නොකිරීම නිසා දැනටමත් බරපතල පාරිසරික ගැටලු මතු වී ඇති බව ජනතාව පවසති. කලපුව ආසන්නයේ පිහිටි මෙම ඉඩමේ වැලි කැණීමෙන් පරිසරයට මෙන්ම මාර්ග පද්ධතියට ද දැඩි හානි සිදුවන බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් එම ස්ථානයේ ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වමින් සිටියදී ජනතාව මෙලෙස සිය විරෝධය පළ කළහ. මෙම අවස්ථාවට පැමිණි පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රදික සංජීව මහතා ප්‍රකාශ කළේ තමන් මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී නොමැති බවයි. මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඉමාෂා පෙරේරා මහත්මිය ද සඳහන් කළේ ජනතාව මතු කරන පාරිසරික චෝදනා සාධාරණ බව පෙනී යන බවයි.














