වසර 149ක අභිමානවත් ඉතිහාසයක් ඇති ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ හිමිකරු වන බිලියනපති ජෙෆ් බෙසොස් විසින් එහි සේවක මණ්ඩලයෙන් 30%ක් සේවයෙන් පහ කිරීමට ගත් තීරණය ජාත්‍යන්තර මාධ්‍ය ලෝකය කැළඹීමට සමත් වී ඇත. යුක්රේනයේ යුද පෙරමුණේ සහ ඉතාලියේ ඔලිම්පික් උළෙලේ රාජකාරියේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවන්ට පවා සිය රැකියා අහිමි වී ඇති අතර, පුවත්පතේ සියලුම ඡායාරූප ශිල්පීන් ද මෙම දොට්ට දැමීමට ගොදුරු වී තිබේ. 2013 වසරේදී ඔහු මෙම පුවත්පත මිලදී ගත් දා සිට මෙවැනි දැඩි කප්පාදුවක් සිදු වූ පළමු අවස්ථාව මෙය වන අතර, එය නිදහස් මාධ්‍ය කලාවේ අනාගතය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරයි.
මෙම අර්බුදය පිටුපස දේශපාලන අවස්ථාවාදය පවතින බවට බොහෝ විචාරකයෝ චෝදනා කරති. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත පැමිණීමත් සමඟ සිය ව්‍යාපාරික අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා පුවත්පතේ කතුවැකි නිදහසට බෙසොස් බලපෑම් කර ඇති බව වාර්තා වේ. කමලා හැරිස්ව අනුමත කිරීමට පුවත්පත ගත් තීරණය වළක්වාලීම සහ ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්ති හරහා ඇමසන් සමාගමට වාසි ලබාගැනීමට උත්සාහ කිරීම මීට ප්‍රධාන හේතු ලෙස සැලකේ. එමෙන්ම පුවත්පතේ පොත් අංශය වසා දැමීමට ගත් තීරණය ද උත්ප්‍රාසාත්මක වන්නේ බෙසොස් ලෝක ප්‍රකට ධනවතෙකු වූයේ අන්තර්ජාලය හරහා පොත් විකිණීමෙන් බැවිනි.
පුවත්පතේ පැවැත්ම වෙනුවෙන් ආයෝජනය කරනවා වෙනුවට බෙසොස් සිය පෞද්ගලික සුඛෝපභෝගී ජීවිතය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කිරීම කාර්ය මණ්ඩලයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. ඔහු සිය ‘කෝරු’ නම් යාත්‍රාව වෙනුවෙන් වැය කළ ඩොලර් මිලියන 500ක මුදල වොෂින්ටන් පෝස්ට් පුවත්පත මිලදී ගත් මුදල මෙන් දෙගුණයකි. පුවත්පතේ ආදර්ශ පාඨය වන “ප්‍රජාතන්ත්‍රවාදය අන්ධකාරයේ මිය යයි” යන්න අද වන විට බෙසොස්ගේ ක්‍රියාකලාපය නිසාම එම පුවත්පතේම ඉරණම බවට පත්වෙමින් තිබීම කණගාටුදායක තත්ත්වයකි.
















