ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (18) රාත්‍රියේ කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
මෙම මෙහෙයුමේදී මන්නාරම උතුරු මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් සහ එහි සිටි ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය. එසේම, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් සෙසු යාත්‍රා දෙක සහ ධීවරයින් 12 දෙනා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙම අඛණ්ඩ මෙහෙයුම් හරහා මෙරට සාගර සම්පත රැකගැනීමටත්, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමටත් ආරක්ෂක අංශ කැපවී සිටින බව නාවික හමුදාව අවධාරණය කරයි.














