පෞද්ගලික මූල්‍ය ආයතන දෙකක තැන්පත්කරුවන් දහසකට අධික පිරිසකගේ රුපියල් කෝටි 900කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අධ්‍යක්ෂවරයෙකුට (පස්වන සැකකරු) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (19) ඇප නියම කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරුණු අතර, සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරිණි.
මෙම වංචාව සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යක්ෂවරුන් ඇතුළු සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත පසුවන බව CIDය අධිකරණයට දන්වා සිටියේය. සැකකරුවන් විසින් වංචා කරන ලද මුදල් යොදවා අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් සහ විවිධ දේපළ මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම දේපළ තහනම් කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙස විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඊට අදාළ නියෝගය හෙට (20) දින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. මේ අතර, දැනට ඇප මත පසුවන අටවන සැකකරු (හිටපු අධ්‍යක්ෂවරයෙකු) මෙම වංචාව සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ද ඔහුගේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දී තිබේ.














