යම් නීතිඥවරයෙකුට තමන්ගේ ජීවිතයට තර්ජනයක් පවතින බව හැඟෙන්නේ නම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා අවශ්‍ය ආරක්ෂාව ලබා ගැනීමට අවස්ථාව පවතින බව ජාතික ඒකාබද්ධ හා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම දැඩි ලෙස හෙළා දුටු අමාත්‍යවරයා, එම සාපරාධී ක්‍රියාව සිදු කළ පිරිස්වලට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන්ට නීතියෙන් බේරී යාමට ඉඩ නොතබන බවත් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම හුදෙකලා සිදුවීම පදනම් කරගනිමින් මෙරට සමස්ත නීතිඥ ප්‍රජාවටම ජීවිත තර්ජන එල්ල වී ඇති බවට කරන ප්‍රකාශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය. එය විපක්ෂය ඇතුළු කණ්ඩායම් විසින් දේශපාලන වාසි තකා නිර්මාණය කරන ලද සටන් පාඨයක් පමණක් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














