ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විජයපුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු වන ප්‍රභූ රත්නකර් (Prabhu Ratnakar), සිය බිරිඳ ඝාතනය කර සිරුර නිවසේ මිදුලේ වළ දැමීමේ පුවතක් වාර්තා වේ. සති තුනක් පුරා තම බිරිඳ වන සරෝජිනී ප්‍රභූ (Sarojini Prabhu) අතුරුදන් වී ඇති බව පවසමින් ඔහු පොලිසිය සහ ඥාතීන් නොමඟ හැරීමට උත්සාහ කර තිබේ.
පොලිස් පරීක්ෂණවලට අනුව මෙම ඝාතනයට හේතු වී ඇත්තේ පවුල තුළ පැවති මූල්‍ය ආරවුලකි. සැකකරු සිය බිරිඳගේ නමට ලබාගත් ණය මුදල් සහ ඇයගේ අත්සනින් ලබා දුන් චෙක්පත් කිහිපයක් අගරු වීම (Bounce) හේතුවෙන් ඇයට එරෙහිව නඩු පවා ගොනු වී තිබුණි. මෙම ණය මුදල් යළි ගෙවන ලෙස බිරිඳ දිගින් දිගටම කළ ඉල්ලීම් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ජනවාරි 24 වැනිදා රාත්‍රියේ සැකකරු ඇයගේ හිසට ලීයකින් පහර දී ඝාතනය කර ඇත.
පසුව සිරුර මිදුලේ වළ දමා ඇති සැකකරු, බිරිඳ අතුරුදන් වූ බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර සෙවීමේ කටයුතුවලට ද සහභාගී වී තිබේ. කෙසේ වෙතත්, සැකකරුගේ හැසිරීම පිළිබඳව ඇති වූ සැකය මත පොලිසිය සිදු කළ වැඩිදුර සෝදිසි කිරීමකදී ඇයගේ සිරුර ගෙවත්තේ තිබී සොයා ගැනීමට හැකි විය. මේ වන විට සැකකරු ඝාතන චෝදනා සහ සාක්ෂි සැඟවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.














