බටහිර වෙරළ තීරයේ කැස්බෑවුන් බිත්තර දැමීමේ සමය ආරම්භ කරමින් 2026 වසරේ පළමු කැස්බෑ කැදැල්ල පසුගිය 17 වනදා රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න වෙරළ තීරයෙන් වාර්තා වී ඇත. ඔලිව් රිඩ්ලි (Olive Ridley) වර්ගයට අයත් කැස්බෑවෙකු මෙලෙස බිත්තර දැමීම සඳහා වෙරළට පැමිණ ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරයි. කාර්යබහුල කොළඹ නගරය මධ්‍යයේ මෙවැනි ස්වභාවික සිදුවීමක් වාර්තා වීම පරිසරවේදීන්ගේ මෙන්ම මහජනතාවගේ ද විශේෂ අවධානයට ලක්ව තිබේ.
මෙම දුර්ලභ අවස්ථාව වාර්තා වීමත් සමඟ බෙල්ලන්විල අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ ඇති අතර කැදැල්ලේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සංරක්ෂණ පියවර ගෙන ඇත. නාගරික වෙරළබඩ කලාපයන්හි මිනිස් ක්‍රියාකාරකම් සහ ආලෝක දූෂණය ඉහළ බැවින්, මෙලෙස බිත්තර දැමීමට පැමිණෙන කැස්බෑවුන් සහ ඔවුන්ගේ කැදලි ආරක්ෂා කර ගැනීම ඉතා අභියෝගාත්මක කාර්යයකි. කැස්බෑ ගහනය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බැවින් මෙවැනි ස්වභාවික කැදලි ආරක්ෂා කිරීම සමුද්‍රීය ජීව විවිධත්වය රැක ගැනීමට අත්‍යවශ්‍ය බව වනජීවී බලධාරීන් පෙන්වා දෙයි.
ගාලු මුවදොර වැනි ජනාකීර්ණ ප්‍රදේශයකදී කැදැල්ලට හානි නොවීමට වගබලා ගන්නා ලෙසත්, කැස්බෑවන් බිත්තර දැමීමට පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට බාධා නොකරන ලෙසත් වනජීවී දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම ඔලිව් රිඩ්ලි කැස්බෑවුන් සාමාන්‍යයෙන් වසරේ මේ කාලය තුළ ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුණු වෙරළ තීරයන් බිත්තර දැමීම සඳහා බහුලව තෝරා ගනු ලබයි.














