ශ්‍රීපාද කඳු මුදුනට ඉදිරිපිටින් පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට අයත් සංවේදී කඳුයායක අද (19) දහවල් හදිසි ගින්නක් හටගෙන තිබේ. ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීඝ්‍රයෙන් අවට ප්‍රදේශ කරා පැතිර යමින් පවතින බව වාර්තා වේ.
දුර්ලභ සත්ත්ව විශේෂ සහ ශාක පද්ධතීන් රැසකට නිවහනක් වූ මෙම රක්ෂිත කලාපය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා බැවින්, ගින්න හේතුවෙන් එම පරිසර පද්ධතියට සහ ජීවීන්ට දැඩි හානියක් සිදුවිය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවයි.
ගින්න හටගෙන ඇත්තේ ඉතා බෑවුම් සහිත දුෂ්කර කඳු මුදුනක බැවින් ගොඩබිම් මාර්ග හරහා එම ස්ථානයට ළඟා වීමට ගිනි නිවන කණ්ඩායම්වලට දැඩි දුෂ්කරතාවයක් මතුව ඇත. මේ හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා සහාය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මිනිස් ක්‍රියාකාරකමක් නිසා මෙය සිදුවූයේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.















