2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද (19) සිදු විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස් කළේය. එහිදී පැතුම් නිස්සංක ලකුණු 62ක් ද, පවන් රත්නායක ලකුණු 44ක් ද ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.3කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 182ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63ක් සහ නායක සිකන්දර් රාසා ලකුණු 45ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂාන් හේමන්ත කඩුලු 2ක් බිඳ හෙලූ අතර, දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාගත්හ. මෙම ජයග්‍රහණයත් සමඟ සිම්බාබ්වේ කණ්ඩායම අපරාජිතව සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.














