වාහන කුලියට දෙන ආයතනයකින් ලබාගත් කැබ් රථයකට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර, රුපියල් ලක්ෂ 50කට උකස් කළ බව කියන 47 හැවිරිදි පුද්ගලයෙකු ලබන මාර්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ඉලංගරත්න මහතා අද (19) නියෝග කළේය. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයකින් ලබාගත් කැබ් රථයක ලියාපදිංචි සහතික තමාගේ නමට ව්‍යාජ ලෙස සකස් කර මොරගහහේන ප්‍රදේශයේ පුද්ගලයෙකුට මෙලෙස උකස් කර තිබේ.
2025 වසරේදී පැමිණිලිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ, මෙම රථය අනුරාධපුරයේ පදිංචිකරුවෙකුට අයත් එකක් බවයි. වංචාව සිදුකිරීමෙන් පසු කාලයක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි සැකකරු, මොරගහහේන පොලිසිය සහ හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.














