පෞද්ගලික සහල් නිෂ්පාදකයින් විසින් වී මිලදී ගැනීමේ මිල ගණන් සීඝ්‍රයෙන් පහත හෙළීම හේතුවෙන් වවුනියාව ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් දැඩි අර්බුදයකට පත්ව සිටිති. සහල් මිල අඩු වී ඇති බව පවසමින් මෝල් හිමියන් නාඩු වී කිලෝවක මිල රුපියල් 75 – 80 දක්වා අඩු කර ඇති අතර, අලෙවි කරන වී සඳහා මුදල් ලබා දීමට මාසයකට අධික කාලයක් ඉල්ලා සිටීම ගොවීන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ. මෝල් හිමියන්ගේ මෙම සූරාකෑමට විකල්පයක් ලෙස ගොවීන් මේ වන විට රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත සිය අස්වනු රැගෙන ඒමට විශාල උනන්දුවක් දක්වති.
රජයට වී අලෙවි කිරීමේදී සපුරාලිය යුතු ප්‍රධාන කොන්දේසිය වන 14% ක තෙතමනය පවත්වා ගැනීම සඳහා ගොවීන් මහමග දෙපස වී වේලීමට පවා කටයුතු කරමින් සිටින අයුරු දැකගත හැකිය. මීට පෙර පාළුවට ගොස් තිබූ රජයේ වී ගබඩා පරිශ්‍රයන් මේ වන විට අස්වනු අලෙවි කිරීමට පැමිණි ගොවීන්ගේ වාහනවලින් පිරී පවතින අතර, රජයේ මැදිහත් වීම හරහා තම අස්වැන්නට සාධාරණ මිලක් අපේක්ෂා කරන බව ගොවීහු පවසති.














