පටු දේශපාලන මානසිකත්වය සහ වෛරය පසෙකලා වෘත්තීය සමිති හා වෛද්‍යවරුන්ගේ ගැටලුවලට සවන් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටියි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු අවධාරණය කළේ, අතීත අරගල සමයේදී ජනතාව උසිගන්වා මඟට බැස්සවූ පුද්ගලයන් අද රජ වී සිටින බවත්, එම උසිගැන්වීම් නිසා පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම හිමි වූ බවත්ය.
ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය විවේචනය කරමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ දේශීය ගොවියා සහ ධීවරයා ආරක්ෂා කරනවා වෙනුවට රජය ව්‍යාපාරිකයන් පිරිසකට වාසි සැලසීමට විදෙස් රටවලින් ආහාර ආනයනය කරමින් සිටින බවයි. බදු අඩු කිරීම් සිදු කරන්නේ දේශීය නිෂ්පාදකයා වට්ටවමින් ආනයනකරුවන් ශක්තිමත් කිරීමට බවත්, පොරොන්දු වූ වන්දි මුදල් හෝ පොහොර සහනාධාර ගොවීන්ට නිසි ලෙස නොලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද දැඩි විවේචනයක් එල්ල කළ නාමල් රාජපක්ෂ මහතා, අකුරෙගොඩ හමුදා මූලස්ථානය අසලදීම නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය වීම තුළින් රටේ නීතිය හා සාමය බිඳ වැටී ඇති බව හෙළි වන බව පැවසීය. පාතාලය හිස ඔසවා ඇති මෙවන් සමයක ඝාතන සාධාරණීකරණය නොකර පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයට බල කර සිටියේය.














