ලාෆ් ගෑස් (Laugfs Gas) සැපයුමෙහි ඇති වූ බිඳ වැටීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලිට් රෝ ගෑස් (Litro Gas) සඳහා පවතින ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ලාෆ් පාරිභෝගිකයන් ද ලිට් රෝ ගෑස් මිලදී ගැනීමට යොමු වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත. මීට පෙර රජයට අයත් ලිට් රෝ සමාගම දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 1000 – 1200ත් අතර ප්‍රමාණයක් නිකුත් කළ ද, පවතින හිඟය මඟහරවා ගැනීම සඳහා අද (19) සිට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1500 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම, ලාෆ් ගෑස් පමණක් භාවිත කරන පාරිභෝගිකයන්ට ලිට් රෝ සිලින්ඩරයක් මිලදී ගැනීමට සිදුවීම අසාධාරණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අදාළ පෞද්ගලික සමාගම කඩිනමින් සිය සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කළේය. පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරමින් ගෑස් හිඟයක් මවාපෑමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














