පාකිස්තානයේ කරච්චි නුවර සොල්ජර් බසාර් (Soldier Bazaar) ප්‍රදේශයේ තෙමහල් නේවාසික ගොඩනැගිල්ලක සිදු වූ ප්‍රබල ගෑස් පිපිරීමකින් කුඩා ළමුන් සිව්දෙනෙකු සහ කාන්තාවන් හයදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (19) අලුයම 4.00ට පමණ ගොඩනැගිල්ල තුළ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වූ මෙම පිපිරීමත් සමඟ ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇති අතර, පදිංචිකරුවන් රැසක් සුන්බුන් අතර සිරවිය. පටු මාර්ග හේතුවෙන් සහන සේවා කටයුතුවලට බාධා එල්ල වුවද, සහන කණ්ඩායම් විසින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල්ගත කර ඇත.
මූලික විමර්ශනවලට අනුව පළමු මහලේ තිබූ ගෑස් සිලින්ඩරයක් හෝ ගෑස් ලබා ගන්නා යන්ත්‍රයක් (Gas suction machine) මෙම පිපිරීමට හේතු වන්නට ඇතැයි සැක කෙරේ. ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ඇත්ද යන්න පිළිබඳව ද බලධාරීන් පරීක්ෂණ පවත්වන අතර, තවදුරටත් පුද්ගලයින් සුන්බුන් අතර සිරවී සිටින්නේ දැයි සෙවීමට මෙහෙයුම් ක්‍රියාත්මකය. අධික ජනගහනයක් සහිත කරච්චි නුවර පැරණි නගර ප්‍රදේශවල පවතින අනාරක්ෂිත ගෑස් භාවිතය මෙම ඛේදවාචකය හරහා යළිත් ලෝක අවධානයට යොමුව තිබේ.














