මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේදී පාතාල කල්ලි සමඟ ගැටුම් ඇති කර ගැනීමට රජය බලාපොරොත්තු නොවන නමුත්, ඔවුන්ට කිසිසේත් බිය නොවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. මේ වන විට මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 281,320 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, පවතින නීතිමය බාධා ඉවත් කරමින් අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පතක් කඩිනමින් ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ලක්ෂ 11ක ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත්, අලුතින් අධිකරණ 7ක් ස්ථාපිත කිරීමට නියමිත බවත් මෙහිදී හෙළි විය. බන්ධනාගාර තදබදය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, 10,500ක ධාරිතාවයක් ඇති බන්ධනාගාර තුළ 39,000ක් රඳවා සිටින බවයි. ඉන් 28,000ක්ම වරදකරුවන් නොවූ සැකකරුවන් බැවින්, ඔවුන් රිමාන්ඩ් කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා යටතේ නව පනතක් සකස් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.















