වර්තමානයේ බුදුදහමට සහ මහා සංඝරත්නයට එල්ල වෙමින් පවතින විවිධ බලපෑම් සම්බන්ධයෙන් රජය සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන මහා සඟ සමුළුවක් අද (20) කොළඹදී පැවැත්වේ. කොළඹ බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී අද පස්වරු 2.00ට මෙම සමුළුව ආරම්භ වීමට නියමිතය.
මෙම සමුළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කළේ, මෙය කිසිදු දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක අරමුණු වෙනුවෙන් පවත්වන්නක් නොවන බවයි. භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
මේ අතර, රටේ ඒකීයභාවයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ කටයුතු ද ඊයේ (19) පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී ආරම්භ විය. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි යන මහ සඟරුවනගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ගුණදාස අමරසේකර සහ කල්‍යානන්ද තිරාණගම වැනි විද්වතුන් මෙන්ම ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බව සංවිධායකවරු සඳහන් කළහ.














