ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් බේඩන් පවෙල් සාමිතුමාගේ 169 වැනි ජන්ම දිනය හෙවත් ‘ලෝක බාලදක්ෂ දිනය’ සැමරීමේ ජාතික උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රධාන සැමරුම් උළෙල මේ මස 22 වැනිදා පෙරවරු 8.30 ට කොළඹ ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත.
මෙවර බාලදක්ෂ දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජාතික උළෙල ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය තීරණය කර තිබේ. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික උළෙල ගාල්ල දිසා බාලදක්ෂ සංගමය සමඟ එක්ව සංවිධානය කෙරේ.
එදින ගාල්ලේදී බාලදක්ෂයින් සඳහා සරුංගල් තරග, ජයග්‍රාහකයන්ට සහතිකපත් ප්‍රදානය, බී.පී. (B.P.) දින සැමරුම් උත්සවය සහ මහජන ගිනිමැලයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත. සෑම වසරකම පෙබරවාරි 22 වැනිදාට යෙදෙන මෙම දිනය ලොව පුරා රටවල් 200 ක විසිරී සිටින මිලියන 60 කට අධික බාලදක්ෂ පිරිසක් සාඩම්බරයෙන් සමරනු ලබයි.














