හෝමාගම, මාගම්මන සමගි මාවතේ පදිංචිව සිටි අවුරුදු 2යි මාස 4ක් වයසැති කුඩා සිඟිත්තියකට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි ප්‍රධාන සැකකරු පෙරේදා (18) මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට පත් සැකකරු හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු වන අතර ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකු බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් පරීක්ෂණවලට අනුව, ඝාතනයට ලක් වූ සිඟිත්තියගේ මව මීට මාස හතරකට පෙර මහරගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකදී මෙම සැකකරු හඳුනාගෙන තිබේ. පසුව ඔවුන් දෙදෙනා අතර පැවති අනියම් සබඳතාවය අතරතුර මෙම අවාසනාවන්ත ඝාතනය සිදුව ඇති බව වාර්තා වේ. පසුගිය 13 වැනිදා සිදුවූ මෙම සිඟිති දැරියගේ මරණය සම්බන්ධයෙන් මව ද දැනටමත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














