රියැදුරු බලපත්‍ර ගාස්තු හැර අනෙකුත් සියලුම සේවාවන් සඳහා වන ගාස්තු සංශෝධනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) තීරණය කර තිබේ. දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, වාර්ෂිකව සිදු කළ හැකි සියයට 15ක ගාස්තු වැඩි කිරීමට සමගාමීව මෙම පියවර ගන්නා බවයි.
මෙවර රියැදුරු බලපත්‍ර ගාස්තු ඉහළ නොදැමීමට විශේෂ හේතුවක් බලපා තිබේ. මීට පෙර වසරවලට සාපේක්ෂව මේ වන විට රියැදුරු බලපත්‍ර කාඩ්පත් අඩු මිලකට ලබා ගැනීමට දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇති බැවින්, එම වාසිය මහජනතාවට ලබා දෙමින් බලපත්‍ර ගාස්තු සංශෝධනය නොකිරීමට තීරණය කර ඇත.
දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වාහනයක් සඳහාත්, සාමාන්‍ය වාහනයක් සඳහාත් මෙතෙක් අය කළ බර අනුව වන රුපියල් 500ක ගාස්තුව අසාධාරණ බවයි. මේ හේතුවෙන් වාහනයේ වර්ගය සහ වටිනාකම සැලකිල්ලට ගනිමින් නව ගාස්තු ව්‍යුහයක් සකස් කිරීමට කටයුතු යොදා ඇත.
මීට අමතරව වාහන ලියාපදිංචිය, හිමිකම් පැවරීම සහ අනෙකුත් ලේඛන කටයුතු සඳහා වන ගාස්තු ද මෙම සංශෝධනයට ඇතුළත් වනු ඇත. මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වන නිශ්චිත දිනය ඉදිරි දිනකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
















