ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ රාත්‍රී කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කළ සැරයන්වරයා, උපසේවක ලෙස රාජකාරි කළ සැරයන්වරයා සහ සැකකාරියගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරිය මෙලෙස වැඩ තහනමට ලක්වූ බවයි.
මොරටුව විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 36,650ක් සමඟ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය, රැඳවුම් නියෝග මත ගල්කිස්ස පොලිසියේ රඳවා සිටියාය. පසුගිය 16 වැනිදා ශාරීරික අවශ්‍යතාවක් සඳහා වැසිකිළියට යන මුවාවෙන් ඇය පොලිස් කොස්තාපල්වරියගෙන් මිදී පලා ගොස් තිබේ. පොලිස් ස්ථානයෙන් පිටතට දිව ගිය ඇය මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක නැගී පලා ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
කෙසේ වෙතත්, ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායම් සැකකාරිය පලා ගොස් පැය 8ක් ගතවීමට පෙර එදිනම තලවතුගොඩ, කිඹුලාඇල ප්‍රදේශයේදී ඇයව යළි අත්අඩංගුවට ගැනීමට සමත් විය. මෙම පලායාමට අනුබල දුන් පුද්ගලයින් සහ පොලිස් නිලධාරීන්ගේ නොසලකා හැරීම සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර විමර්ශනයක් ක්‍රියාත්මක වේ.














