වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් කිලෝ 7600ක තොගයක් වටලා අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සමත්ව තිබේ. මෙම මිරිස් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 76ක් පමණ වන බව ගණන් බලා ඇත.
අත්අඩංගුවට ගත් මිරිස් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් අනතුරුව, එහි මිනිස් සිරුරට අතිශය අහිතකර පිළිකාකාරකයක් වන “ඇපලටොක්සීන්” (Aflatoxin) නම් රසායනිකය අඩංගු බව තහවුරු වී තිබේ. මෙම මිරිස් තොගය කල් ඉකුත් වූ ඒවා බව ද අනාවරණය විය.
අදාළ මිරිස් තොගය ආනයනය කළ ව්‍යාපාරිකයා පසුගිය 18 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු වරද පිළිගත්තේය. ඒ අනුව වත්තල මහෙස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය විසින් ව්‍යාපාරිකයාට රුපියල් 25,000ක දඩයක් නියම කළාය. මීට අමතරව, අදාළ ව්‍යාපාරිකයාගේම වියදමින් එම මිරිස් තොගය කෙරවලපිටිය කසළ අංගනයේදී විනාශ කරන ලෙස ද නියෝග කෙරිණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන පුංචිහේවා සහ කසුන් කුමාර යන මහත්වරුන් මෙම වැටලීම සහ පැමිණිල්ල මෙහෙයවා ඇත.














