අධිකරණ සහ විෂ ද්‍රව්‍ය පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මලයගමකල් පෙරමුණේ නායක සහ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කළේය. එල්.ටී.ටී.ඊ (LTTE) නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ පාලනය කළ සමයේ එම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය භාවිතයක් හෝ ලිංගික අපයෝජනයන් වාර්තා නොවූ බවත්, වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
රටේ නීතිය හා සාමය පිරිහීම හේතුවෙන් මත්ද්‍රව්‍ය උවදුර උත්සන්න වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම පදනම් කරගනිමින් දිනපතා රටේ විවිධ ප්‍රදේශවල මිනීමැරුම් සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. වර්තමාන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය පාලනයට ගන්නා පියවර අගය කරන අතරම, රජය බලයට පත් වූ දා සිට පාතාල කල්ලි ක්‍රියාකාරීත්වය සහ ඝාතන ඉහළ ගොස් ඇති බවට ද ඔහු චෝදනා කළේය. මත්ද්‍රව්‍ය සහ ලිංගික අපරාධ මැඩලීම සඳහා ඉස්ලාමීය රටවල පවතින දැඩි දඬුවම් මෙරටට ද හඳුන්වා දිය යුතු බව ඔහුගේ අදහස විය.
මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් පවුල් සංස්ථාව මෙන්ම රටේ ආර්ථිකය ද විනාශ වන බවත්, එබැවින් උපරිම දඬුවම් නියම කිරීම හරහා මෙම විනාශය වහාම පාලනය කළ යුතු බවත් රාධක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව සංශෝධන සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව පවසමින් ඔහු සිය කතාව අවසන් කළේය.














