කෙහෙල්බද්දර පත්මේ ඇතුළු ප්‍රබල පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු සමඟ සබඳතා පැවැත්වූ දේශපාලඥයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පොලිස් අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී මෙම තොරතුරු හෙළි වී තිබේ. එම දුරකථන දත්ත වාර්තා සහ සැකකරුවන් ලබාදුන් ප්‍රකාශ මගින් ඔවුන් සමඟ සමීපව කටයුතු කළ දේශපාලනඥයන් රැසක් හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
අදාළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් දැනටමත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදුකෙරෙන බවත්, සම්පූර්ණ පරීක්ෂණ අවසානයේදී මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට සහ රටට හෙළි කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














