වීසා උපදේශන ආයතන ලෙස පෙනී සිටිමින් නීතිවිරෝධී ලෙස විදේශ රැකියා ජාවාරම්වල නිරත වූ මධ්‍යස්ථාන කිහිපයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වටලා තිබේ. ජාඇල සහ මීගමුව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය මෙම ආයතන හරහා පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති බව හෙළි වී ඇත.
වීසා උපදේශන මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ආයතනය රුමේනියාවේ ට්‍රක් රථ රියදුරු රැකියා ලබාදෙන බව පවසා කැලණිය සහ වේයන්ගොඩ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචා කර තිබේ. වැටලීමේදී එහි තිබූ ලැප්ටොප් පරිගණක සහ ව්‍යාජ ලේඛන අත්අඩංගුවට ගත් අතර, ආයතන හිමිකරු සහ ඊට සහය වූ කාන්තාවක පෙබරවාරි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ යුරෝපීය රැකියා ප්‍රචාරණය කරමින් පවත්වාගෙන ගිය මෙම ආයතනය, කැනඩාවේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 55ක මුදලක් ලබාගෙන තිබේ. පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් හිමිකරු, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන රුපියල් 250,000ක මුදලක් වින්දිතයාට ගෙවීමට එකඟ වීම නිසා ඇප මත මුදාහැර තිබේ.
පසුගිය 2025 වසර තුළ පමණක් විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් පැමිණිලි 4,822ක් ලැබී ඇති අතර, ඉන් රුපියල් මිලියන 380කට අධික මුදලක් වින්දිතයන්ට යළි ලබා දීමට බලධාරීන් කටයුතු කර ඇත. ඕනෑම විදේශ රැකියාවකට මුදල් ගෙවීමට පෙර අදාළ ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී ආයතනයක්ද යන්න www.slbfe.lk වෙබ් අඩවිය හරහා හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය මගින් තහවුරු කරගන්නා ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටී.














