උන්නාඕ (Unnao) ස්ත්‍රී දූෂණ සිද්ධියට අදාළ වින්දිත තරුණියගේ පියා බන්ධනාගාර අත්අඩංගුවේ පසුවෙද්දී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින, හිටපු භාරතීය ජනතා පක්ෂ (BJP) නායක කුල්දීප් සිං සෙන්ගාර්ගේ සහෝදරයා වන ජයිදීප් සෙන්ගාර්ට හෙට (සෙනසුරාදා) වන විට බන්ධනාගාරය වෙත භාරවන ලෙස දිල්ලි මහාධිකරණය අද (20) නියෝග කළේය.
තමන් මුඛ පිළිකාවකින් පෙළෙන බව පවසමින් ජයිදීප් සෙන්ගාර් සිය සිරදඬුවම තවත් මාස තුනකට අත්හිටුවන ලෙස ඉල්ලා තිබුණි. ඔහුට මුලින්ම 2024 ජූලි මාසයේදී මාස දෙකක අතුරු ඇපයක් හිමි වූ අතර, එය අවසන් වරට 2025 මැයි දක්වා දීර්ඝ කර තිබුණි. ඉන් අනතුරුව අවස්ථා පහකදී නඩුව කැඳවනු ලැබුවද, අධිකරණය විසින් ඔහුගේ අතුරු ඇප කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන නොතිබුණි.
මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (CBI) නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ජයිදීප් සෙන්ගාර් සිය ඇප ඉල්ලීම තහවුරු කිරීම සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන (Fabricated documents) ඉදිරිපත් කර ඇති බවයි. ඔහුට ලබා දී තිබූ ඇප කාලය දීර්ඝ නොකළ පසුබිමක පවා ඔහු බන්ධනාගාරයට භාර නොවී සිටීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ජයිදීප් සෙන්ගාර්ගේ නීතිඥවරයා තර්ක කළේ ඇප කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබූ අයදුම්පත් විභාග කිරීම කල් දැමීම හේතුවෙන්, ඔහුට හිමිව තිබූ අතුරු සහනය ස්වයංක්‍රීයව දීර්ඝ වී ඇති බවයි.
කෙසේ වෙතත්, විනිසුරු නවින් චව්ලා සහ රවින්දර් දුඩේජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එම තර්කය ප්‍රතික්ෂේප කරමින් සැකකරුට වහාම බන්ධනාගාරය වෙත භාරවන ලෙස නියෝග කළේය.














