ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තේරීම් කමිටුවේ ඇතිවූ ඇබෑර්තුවක් පිරවීම සඳහා ජාතික මට්ටමේ අත්දැකීම් රහිත යුද හමුදා නිලධාරියෙකු පත් කිරීමට පියවර ගැනීම වොලිබෝල් ක්ෂේත්‍රයේ දැඩි විවේචනයට ලක්ව තිබේ. එල්.සී. ඒකනායක මහතා තේරීම් කමිටු සාමාජිකත්වය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙලෙස පත් කර ඇත්තේ පාසල් අවධියේ දිස්ත්‍රික් මට්ටමින් පමණක් ක්‍රීඩා කළ අයෙකු බව වාර්තා වේ.
මෙම පත්වීම වඩාත් මතභේදාත්මක වීමට හේතුවී ඇත්තේ, ජාතික කණ්ඩායමේ හිටපු නායකයන් වන ලාල් අරුණශාන්ත සහ සම්පත් පීරිස් වැනි ප්‍රවීණයන් පොරොත්තු ලේඛනයේ සිටියදී ඔවුන්ව නොසලකා හැරීමයි. පත් කරන ලද හමුදා නිලධාරියා සිය අයැදුම්පතේ සඳහන් කර ඇත්තේ යුද හමුදා රෙජිමේන්තු මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස සහ හමුදා තේරීම් කමිටු නියෝජනය කළ බව පමණි. ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හෝ කළමනාකරුවෙකු ලෙස කිසිදු අත්දැකීමක් නොමැති අයෙකු ජාතික තේරීම් කමිටුවට පත් කිරීම “අපභ්‍රංශයක්” ලෙස ක්‍රීඩා විචාරකයෝ හඳුන්වති.
මීට පෙර පත් කරන ලද පස් දෙනෙකුගෙන් යුත් කමිටුවේ සභාපතිත්වය උදේනි ප්‍රියදර්ශනී මහත්මියට හිමිවිය. එහිදී වසර 13ක් ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ එල්.සී. ඒකනායක මහතාට හිමිවිය යුතු ලකුණු සංඛ්‍යාව නිසි ලෙස ලබා නොදී අසාධාරණයක් කළ බව පවසමින් ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කර තිබුණි. එවැනි පසුබිමක, සුදුසුකම් ලත් හිටපු නායකයන් පසෙකලා සිදුකර ඇති මෙම නව පත්වීම පිටුපස ඇති නිර්නායක මොනවාද යන්න පිළිබඳව වොලිබෝල් ලෝලීන් ප්‍රශ්න කරති.














