AI Impact 2026 සමුළුවට සහභාගී වීම සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී (Hyderabad House) පවත්වා තිබේ. ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලී ලෙස පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, සිය ආරාධනය පිළිගෙන මෙම වැදගත් ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම පිළිබඳව සිය ස්තූතිය පළ කළේය.
මෙම හමුවේදී නායකයන් දෙපළ ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ. විශේෂයෙන් දෙරට අතර ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික සහයෝගීතාව නව මානයන් ඔස්සේ වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානය යොමු විය. කලාපීය වශයෙන් කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් භාවිත කිරීමේදී දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මීට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේදී ඉන්දියාව ලබාදුන් සුවිශේෂී සහය සහ මානුෂීය ආධාර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. අසල්වැසි රටක් ලෙස ඉන්දියාව දැක්වූ මෙම කඩිනම් සහයෝගය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් බව ද මෙහිදී සිහිපත් කෙරිණි.














