ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව රැගත් දැවැන්ත බැනරයක් වොෂින්ටන් ඩී.සී. හි පිහිටි එරට යුක්ති දෙපාර්තමේන්තු (Department of Justice) මූලස්ථාන ගොඩනැගිල්ලේ ප්‍රදර්ශනය කිරීමත් සමඟ එරට දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. තමන්ව විමර්ශනයට ලක්කළ නීතිය බලාත්මක කරන ආයතනයට ඉහළින් තම බලය පෙන්වීමේ සංකේතයක් ලෙස මෙය බොහෝ දෙනා අර්ථකථනය කරති.
ගොඩනැගිල්ලේ කුළුණු දෙකක් අතර එල්ලා ඇති මෙම බැනරයේ ට්‍රම්ප්ගේ මුහුණ සමඟ “Make America Safe Again” (ඇමරිකාව නැවතත් ආරක්ෂිත කරමු) යන පාඨය සඳහන් වේ. නීති විරෝධී සංක්‍රමණ සහ ප්‍රචණ්ඩ අපරාධ මර්දනය කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අවධාරණය කර ඇත.
යුක්ති දෙපාර්තමේන්තුව ඓතිහාසිකව ධවල මන්දිරයේ සෘජු පාලනයෙන් බැහැරව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමේ සම්ප්‍රදායක් පැවතිණි. කෙසේ වෙතත්, මෙම පියවර එම සම්ප්‍රදාය බිඳ දැමීමක් බව විචාරකයෝ පවසති. විශේෂයෙන්ම වත්මන් නීතිපති (Attorney General) පෑම් බොන්ඩි, ට්‍රම්ප්ගේ ප්‍රබලතම ආධාරකාරියක ලෙස කටයුතු කිරීම මෙහිදී කැපී පෙනේ.
හිටපු FBI ප්‍රධානියා ඇතුළු පිරිසක් මෙය “පිළිකුල් සහගත” ක්‍රියාවක් ලෙස හඳුන්වද්දී, ධවල මන්දිරය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ මීට පෙර පැවති බයිඩන් පාලනය විසින් යුක්ති දෙපාර්තමේන්තුව දේශපාලන අරමුණු සඳහා භාවිත කළ බවත්, ට්‍රම්ප්ට එරෙහිව පැවති ෆෙඩරල් අපරාධ නඩු ඔහු 2024 මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අත්හැර දැමීමට සිදුවූ බවත්ය.














