දිල්ලියේ භාරත් මණ්ඩපම්හි පැවති 2026 AI සමුළුවේදී (AI Impact Summit 2026), චීනයේ නිෂ්පාදිත රොබෝ බල්ලෙකු (Robodog) තමන්ගේම නිර්මාණයක් ලෙස හඳුන්වා දීම හේතුවෙන් දැඩි ආන්දෝලනයකට ලක්වූ මහාචාර්ය නේහා සිං මහත්මිය සම්බන්ධයෙන් ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
මෙම සමුළුවේදී ප්‍රදර්ශනය කෙරුණු “Orion” නමැති රොබෝ බල්ලා, ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence) මගින් නිපදවූවක් බව මහාචාර්ය නේහා සිං ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, මෙය චීන රොබෝ තාක්ෂණ ආයතනයක් වන “Unitree” සමාගමේ නිෂ්පාදනයක් බවත්, එය විශ්වවිද්‍යාල සිසුන්ගේ නිර්මාණයක් ලෙස අසත්‍ය ලෙස හඳුන්වා දී ඇති බවත් චීන මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මෙම ගැටලු සහගත තත්ත්වය නිර්මාණය විය.
ඇය සේවයෙන් නෙරපා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය තොරතුරු ප්‍රතික්ෂේප කරමින් විශ්වවිද්‍යාල බලධාරීන් පවසන්නේ, ඇයව මේ දක්වා සේවයෙන් අත්හිටුවා නොමැති බවයි. මෙවැනි බරපතළ “වැරැද්දක්” සිදු වීමට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, එම පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ඇයට විශ්වවිද්‍යාලයේ රැඳී සිටින ලෙස දන්වා ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිදුවීමත් සමඟ ඉන්දීය අධ්‍යාපන ක්ෂේත්රය තුළ පර්යේෂණ සහ නව නිපැයුම්වල අව්‍යාජභාවය පිළිබඳව පුළුල් කතාබහක් ඇති වී තිබේ.













