බෞද්ධ දර්ශනය, පාලි භාෂාව ඇතුළු පෙරදිග දර්ශනය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරණය කිරීම සඳහා රජය විදේශීය තානාපති කාර්යාල සහ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 44 වන දින සැමරුම් උත්සවයට අද (20) එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 1982 වසරේදී බුද්ධ ධර්මය සහ පාලි භාෂාව දේශීය හා ජාත්‍යන්තරව ප්‍රචාරණය කිරීමට අවශ්‍ය විද්වතුන් බිහිකිරීමේ අරමුණින් මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිත කෙරිණි.
සැකසෙමින් පවතින උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිත ගුණදායී විශ්වවිද්‍යාල පද්ධතියක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතාවක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම දේශීය විශ්වවිද්‍යාල තුළ බෞද්ධ අධ්‍යයනයට අදාළ ගවේෂණ සහ පර්යේෂණ කිරීමට අවශ්‍ය වටපිටාව ද ඉදිරියේදී සකස් කෙරෙනු ඇත.
විදේශීය රටවල් වර්තමානයේ පෙරදිග දර්ශනය කෙරෙහි දක්වන දැඩි උනන්දුව සැලකිල්ලට ගනිමින්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වැනි ආයතනවලට ජාත්‍යන්තර මට්ටමින් යා හැකි ගමනක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී පෙරදිග දර්ශනය ප්‍රචාරණය කිරීමට පුරෝගාමී වූ වල්පොල රාහුල ස්වාමීන් වහන්සේගේ දායකත්වය ද ඔහු ගෞරවයෙන් සිහිපත් කළේය.
මෙම අවස්ථාවට මහෝපාධ්‍යායයන් වහන්සේ, පීඨාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.














