කඩුල්ල සාහිත්‍ය කවය සහ දුරුතු සහෘදයෝ එක්ව සංවිධානය කරන “රුහුණු පොත් වසන්තය 2026” සාහිත්‍ය මංගල්‍යය අද (20) මාතර උයන්වත්ත මහජන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. මෙහි සමාරම්භක උළෙල ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වූ අමාත්‍යවරිය, ස්මාර්ට්ෆෝන් සහ ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම නිසා වත්මන් පරම්පරාවේ (Gen Z) බුද්ධිමය ධාරිතාව (IQ) පෙර පරම්පරාවලට වඩා අඩු වී ඇති බවට වාර්තා වී ඇති බව පෙන්වා දුන්නාය. මිනිසුන් සතු විය යුතු මෘදු කුසලතා සහ සංවේදීතාව සමාජයෙන් ගිලිහී යාම වැළැක්වීමට නම් ජනතාව නැවත කියවීම කෙරෙහි යොමු විය යුතු බව ඇය අවධාරණය කළාය.
රටක සැබෑ සංවර්ධනය යනු භෞතික සම්පත් ඉදි කිරීම පමණක් නොව, පොත් කියවන සහ අපරාධ අඩු සංවේදී සමාජයක් බිහි කිරීම බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. මේ වෙනුවෙන් රජය විසින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයට මුල් තැන දෙන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති බවත්, විශේෂයෙන් පෙර පාසල් දරුවන් සඳහා “සෙල්ලම් කරමින් ඉගෙන ගනිමු” යන සංකල්පය යටතේ නව විෂය මාලාවක් සකස් කර ඇති බවත් ඇය අනාවරණය කළාය.
අද සිට පෙබරවාරි 26 වැනිදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. පොත් ප්‍රදර්ශනයට අමතරව සාහිත්‍ය දේශන, කතුවර හමු, කවි විචාර සහ කැලිප්සෝ ප්‍රසංග ඇතුළු විශේෂාංග රැසක් මෙහිදී ක්‍රියාත්මක වන බව කඩුල්ල සාහිත්‍ය කවයේ සභාපති ප්‍රියන්ත කුමාර රණසිංහ මහතා සඳහන් කළේය.














