හෙට (පෙබරවාරි 21) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය යටතේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
වැසි තත්ත්වයට අමතරව මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර වලපනේ සහ නිල්දණ්ඩාහින්න ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ (Amber) අනතුරු ඇඟවීම් බලාත්මක වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නායයෑම් අවදානම් කලාපවල සිටින ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.














