ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ රයිපූර් (Raipur) ප්‍රදේශයේ පිරවුම්හලකදී සිගරට් දැල්වීමට ඉඩ නොදුන් බවට උරණ වූ පුද්ගලයෙකු සිය ලයිටරය භාවිත කර යතුරුපැදියට ගිනි තැබීමේ පුවතක් වාර්තා වේ. මෙම බිහිසුණු සිද්ධිය පිරවුම්හලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන් වී ඇති අතර රයිපූර් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි 18 වැනිදා රාත්‍රී 7:40ට පමණ රයිපූර්හි උර්ලා (Urla) ප්‍රදේශයේ පිහිටි සංගීතා පිරවුම්හල වෙත සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ ඇත. ඔවුන් යතුරුපැදියට ඉන්ධන ලබාගන්නා අතරතුර ඉන් පිටුපස අසුනේ සිටි පුද්ගලයා පහළට බැස සිගරට් එකක් දැල්වීමට උත්සාහ කර තිබේ. එහි සිටි සේවකයෙකු පිරවුම්හල තුළ ගිනි අවදානම පවතින බැවින් සිගරට් දැල්වීම වළක්වන ලෙස ඔහුට අවවාද කර ඇත.
ඉන් කෝපයට පත් වූ මෙම පුද්ගලයා සේවකයා ඉන්ධන පුරවමින් සිටියදීම තමා අත තිබූ ලයිටරය දල්වා යතුරුපැදියේ ඉන්ධන ටැංකිය අසලට යොමු කර ඇති අතර එමගින් ක්ෂණිකව ගින්නක් හටගෙන තිබේ. ගින්න යතුරුපැදියට මෙන්ම ඉන්ධන නලයට (Nozzle) ද පැතිර ගියත් පිරවුම්හල් සේවකයින්ගේ කඩිනම් ක්‍රියාකාරීත්වය නිසා ගිනි නිවන උපකරණ භාවිත කර විශාල විනාශයක් වැළැක්වීමට හැකි විය.
මෙම සිද්ධියට සම්බන්ධ ධර්මේන්ද්‍ර සිං (Dharmendra Singh) සහ ඉම්රාන් කුරේෂි (Imran Quraishi) යන සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට එරෙහිව පොදු ආරක්ෂාව අනතුරේ හෙළීම සහ දේපළ හානි කිරීම යටතේ නඩු පවරා තිබේ. පිරවුම්හලකදී ලයිටර් හෝ ගිනිකූරු වැනි ද්‍රව්‍ය භාවිත කිරීමෙන් සිදුවිය හැකි මහා විනාශය පිළිබඳව මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් ජනතාව දැනුවත් කරමින් පවතී.














