යටියන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් තණකොළවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික සංචාරක බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අද (20) සවස 4.00ට පමණ අනතුරක් සිදුව තිබේ. සංචාරකයින් පිරිසක් රැගත් මෙම බස් රථය ධාවනය වෙමින් තිබියදී සිදු වූ මෙම ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී එම ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වෙමින් තිබූ බවත්, මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක පැවතීම අනතුරට හේතු වන්නට ඇති බවත් යටියන්තොට පොලිසිය සැක පළ කරයි. මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මාර්ග ලිස්සා යාමේ අවදානම පවතින බැවින් රියදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.














