විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිසුන්ගේ සාමූහික ක්‍රියාකාරකම් අවහිර කිරීම සඳහා රජය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් හඳුන්වා දී ඇති නව චක්‍රලේඛ වහාම ඉවත් කරගත යුතු බව පවසමින් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (22) පස්වරුවේ විරෝධතාවයක නිරත විය. “සරසවි තුළ රාත්‍රී ශිෂ්‍ය ක්‍රියාකාරකම් තහනම් කිරීමට සහ ශිෂ්‍ය මර්දනයට ගෙන එන UGC චක්‍රලේඛය හකුළා ගනිව්” යන තේමාව යටතේ නාවල විවෘත විශ්වවිද්‍යාල පිවිසුම ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වනු ලැබීය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය නිදහස සීමා කිරීමට සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමට ආණ්ඩුව මෙම නව රෙගුලාසි භාවිත කරන බවයි. විශේෂයෙන් රාත්‍රී කාලයේදී ශිෂ්‍ය සංගම් මඟින් පවත්වනු ලබන සාකච්ඡා සහ සංස්කෘතික වැඩසටහන් තහනම් කිරීමට ගෙන ඇති මෙම තීරණය ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් හඳුන්වයි.
මෙම චක්‍රලේඛයට එරෙහිව මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද පන්දම් දල්වමින් දැවැන්ත විරෝධතාවයක නිරත වූ අතර, ඉදිරියේදී දිවයින පුරා පිහිටි සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඒකාබද්ධ කරගනිමින් මෙම මර්දනකාරී පියවරට එරෙහිව අඛණ්ඩ අරගලයක නිරත වන බව ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ අවධාරණය කළහ.















